Friday, May 25, 2012

තහනම්ද ආදරේ ?









ආදරය...


ලෝකයේ තියෙන සුන්දරතම වචන වලින් එකක්. මොන භාෂාවකින් කිවුවත් මේ වචනයේ සුන්දරත්වය, අගය අඩු වෙන්නේ නැහැ. ලෝකයේ සුන්දරතම කවි, ගීත, චිත්‍රපට රැසක් බිහිවෙලා තියෙන්නේ ආදරය තේමා කරගෙනයි. ටජ්මහල් වැනි ප්‍රේම ස්මාරක ආදරයේ සදාතනික බව යළි යළි ත් අපට මතක් කර දෙනවා. රොමියෝ- ජුලියට්, රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, සාලිය - අසෝකමාලා වැනි අමරණීය පෙම්වතුන්ගෙන් අපේ සාහිත්‍යයත්, ඉතිහාසයත් පිරී ඉතිරී ගිහින්. හැම ආගමකම , දර්ශනයකම ආදරයේ අගය , වටිනාකම ගැන සඳහන් වෙනවා. ජාති, කුල, ආගම්, වර්ණ, පංති, වයස්, ලිංග වගේ බේදයන් ආදරය ඉදිරියේ නිවටයන් , පරාජිතයන් බවට පත්වෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ ආදරය මුලුමහත් විශ්වයටම පොදු ධර්මතාවයක් බව නොවේද ?

පුංචි දරුවෙකුගේ ජීවිතය වට වැඩියෙන්ම බැඳී තියෙන්නේ ආදරය කියන වචනයයි.

ඔයා වැඩියෙන්ම ආදරේ කාටද ? , අම්මටද ? නැත්තම් තාත්තටද ? වගේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට ඕනෑම පුංචි දරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පුංචි කාලේ ඉඳලම අපට උගන්වන්නේ අනිත් අයට ආදරේ කරන්න, ඒ වගේම අනිත් අයගෙන් ආදරය ලබන්න. ලෝකයට බිහි වෙන ඕනෑම දරුවෙක් තමුන්ගේ කුඩා කාළය ගත කරන්නේ ආදරය පිරී ඉතිරී ගිය ලෝකයක. ඒ නිසා අම්මා කියන වචනය තරම් ම ආදරය කියන වචනයත් පුංචි කාලෙදි අපේ ජීවිත වලට සමීප වෙනවා.


ඒත් ටිකෙන් ටික උස් මහත් වෙලා, දැනුම තේරුම ඇති කෙනෙක් බවට පත් වෙනකොට, අර පුංචි දරුවා යෞවනයෙකු බවට පත් වෙනකොට ආදරය කියන වචනය අපේ ජීවිත වලින් ටිකෙන් ටික ඈතට යනවා. ඒ කාලෙදි ආදරය අපේ ජීවිත වල තහනම් වචනය බවට පත් වෙනවා. පුංචි කාලේ ඉඳලා ආදරේ කරන්න, ආදරේ ලබන්න පුරුදු පුහුණු වුණු අපව හදිසියේම ආදරයෙන් වෙන් කරනවා. ආදරය කිරීම මිනීමැරුමක් කිරීම වගේ දරුණු අපරාධයක් හැටියට සැලකෙනවා. ඒ නිසා ආදරය කරලා අහුවුණොත් දැඩි දඬුවම් විඳින්නත් සිදු වෙනවා. පුංචි කාලේ ජීවිතයට මේ තරම් සමීප කරවපු ආදරය එකපාරටම ජීවිතයෙන් වෙන් කරන්නේ ඇයි ? පුංචි කාලෙදි ආදරය කරන්න ඔට්ටු වුණත් තරුණ වයසෙදි ආදරය කිරීම තහනම්ද ?

තරුණ ජීවිත ආදරය එක්ක එකතු වෙලා නොමග යන්න පුළුවන්. යෞවන ආදරයට මග හරස් කරන බොහෝ දෙනා ගේ හේතු දැක්වීම ඒකයි. ඒත් ආදරය නිසා යෞවන ජීවිත විනාශ වෙනවා නම් , තරුණයෝ නොමග යනවා නම් ඒ ආදරයේ වරදක් විතරක් නිසා සිදුවෙන දෙයක්ද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවන දෙයක්ද?


පුංචි කාලෙදි හරියට ආදරේ ලැබුණා නම් , ඇත්ත ආදරය මොන වගේද කියලා හඳුනා ගැනීමේ ශක්තිය තරුණයින්ට ලැබෙනවා. තරුණ කාලේ ආදරය නිසා නොමග යන්නේ, ජීවිත විනාශ කර ගන්නේ , පුංචි කාලෙදි හරි ආදරයක් නොවිඳපු අයයි. කුඩා කාලෙදි ආදරය නොවිඳපු නිසා තරුණ වයසේදී ආදරයේ බොරුවලවල් වල මේ වගේ අය වැටෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි. ආදරය විතරක් නෙවෙයි , ජීවිතේ හුඟක් දේවල් වරද්දා ගන්නේ පුංචි කාලෙදි ලැබෙන්න ඕනෙ කරන ආදරය නියම විදිහට නොලැබුණු අය බව ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. තරුණ වයසේදී ඇත්ත ආදරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පුංචි කාලෙදි ඇත්ත ආදරය විඳපු අයට විතරයි.

පුංචි කාලෙදි ආදරය ලැබෙන්නේ අපේ ගෙදරින්. ඒ කියන්නේ ආදරයේ මුල් පාඩම් උගන්වන පාසැල වෙන්නේ අපේ ගෙදර කියන එකයි. ඒ නිසා ආදරයේ ... නියම ආදරයේ පාඩම ගෙදරින් උගන්වන්න පටන් ගන්න. එතකොට ජීවිතේ කිසිම දවසක ආදරේ බොරු වලවල් වල නොවැටී ඉන්න පුළුවන්. ඒ විතරක්ද , නීති රීති වලින් ආදරයට තහංචි දාන්න බෑ, ආදරය පාලනය කරන්න පුළුවන් වෙන්නේ තවත් ආදරයකට විතරයි. ඒ නිසා නොමග ගිය ආදරයක්, නොමග ගිය ජීවිතයක් වුණත් ආයෙත් යහ මගට ගන්න ගෙදරින් ලැබෙන ආදරයට පුළුවන් බව මතක තබාගන්න.




ප.ලි මේක උපුටා ගත්තු එකක් බුකියේ මෙන්න මෙතනින් මමත් මුහුණ දීලා ඉන්න නිසා දාන්නම හිතුනා

3 comments:

  1. පුංචි දේකට එකග වෙන්න අමාරුයි...
    ආදරය කියන්නෙ ආදරයමයි.වෙන දෙයක් නෙවෙයි. ඒත් අපි පුංචි කාලෙදි දෙමාපියන්ගෙන් ලබන ආදරෙයි තරුණ වයසෙදි ලබන, බලාපොරොත්තු වෙන ආදරෙයි කියන්නෙ ආදරේම ප්‍රබේද දෙකක්. පුංචි කාලෙදි හරියාකාරව දෙමාපිය ආදරේ ලැබුව කෙනෙක්ට වැඩිහිටිවියේදි පතන ප්‍රේමය නිවැරදිව හදුනාගත හැකියි කියන දේ පිලිගන්න අමාරුයි. ශ්‍රී ලංකාව වගේ රටක බහුතරයක් ඉන්නෙ කුඩා වියේදී උපරිමයෙන්ම දෙමාපිය ආදරේ විදපු අය. එහෙමනම් ඒ අය කවදාවත්ම ප්‍රේමයෙන් පරාද වෙන්න විදිහක් නෑ.මොකද එයාල කුඩා කාලයේදීම ආදරයේ අරුත වටාගත් අය. ඒත් එහෙම වෙන්නෙ නෑ. පුංචි කාලෙ ලබන දෙමාපිය ආදරයත් යෞවන ප්‍රේමයත් දෙයාකාරයි.
    ඇත්ත පුංචිකාලෙ ලබන අත්දැකීම් වැඩිහිටි වියේදි බොහෝම වැදගත් වෙනවා. ඒ තුලින් ගොඩක් සාර්ථක වෙන් පුළුවන්.
    මමත් මගේ අන්තිම පෝස්ට් එක දැම්මෙ මේහා සම්බන්ද දේකට වෙලාවක් තියනම් ඇවිත් බලන්නකෝ..
    http://tharugelokaya.blogspot.com/2012/05/blog-post_24.html

    ReplyDelete
  2. මේ මොකද බන් මේ?
    මොනා වුනත් ඇත්ත තමා
    ජීවිතේදී නැතුවත් බැහැ ඒත් වැඩි වුනාමත් හිතටමයි අමාරු.
    ගෙදරින් විතරයි අද කාලේ සැබෑ ආදරයක් විදින්න පුළුවන්.
    ඊට පස්සේ සැබෑ ආදරයක් දෙන්න කෙනෙක් හම්බෙන්නේ කලාතුරකින්

    ReplyDelete
  3. ආදරේ ගැන කතා කරනවනම් ගොඩක් දේවල් ලියන්න පුළුවන්.. ඒත් කවදාවත් වේදනාවක් නොදෙන ආදරයක් ලැබෙන්නේ ගෙදරින් විතරයි.. ඒක ගොඩක් දෙනෙක් තේරුම් ගන්න කැමති නෑ..

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා