Friday, May 25, 2012

තහනම්ද ආදරේ ?









ආදරය...


ලෝකයේ තියෙන සුන්දරතම වචන වලින් එකක්. මොන භාෂාවකින් කිවුවත් මේ වචනයේ සුන්දරත්වය, අගය අඩු වෙන්නේ නැහැ. ලෝකයේ සුන්දරතම කවි, ගීත, චිත්‍රපට රැසක් බිහිවෙලා තියෙන්නේ ආදරය තේමා කරගෙනයි. ටජ්මහල් වැනි ප්‍රේම ස්මාරක ආදරයේ සදාතනික බව යළි යළි ත් අපට මතක් කර දෙනවා. රොමියෝ- ජුලියට්, රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, සාලිය - අසෝකමාලා වැනි අමරණීය පෙම්වතුන්ගෙන් අපේ සාහිත්‍යයත්, ඉතිහාසයත් පිරී ඉතිරී ගිහින්. හැම ආගමකම , දර්ශනයකම ආදරයේ අගය , වටිනාකම ගැන සඳහන් වෙනවා. ජාති, කුල, ආගම්, වර්ණ, පංති, වයස්, ලිංග වගේ බේදයන් ආදරය ඉදිරියේ නිවටයන් , පරාජිතයන් බවට පත්වෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ ආදරය මුලුමහත් විශ්වයටම පොදු ධර්මතාවයක් බව නොවේද ?

පුංචි දරුවෙකුගේ ජීවිතය වට වැඩියෙන්ම බැඳී තියෙන්නේ ආදරය කියන වචනයයි.

ඔයා වැඩියෙන්ම ආදරේ කාටද ? , අම්මටද ? නැත්තම් තාත්තටද ? වගේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට ඕනෑම පුංචි දරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පුංචි කාලේ ඉඳලම අපට උගන්වන්නේ අනිත් අයට ආදරේ කරන්න, ඒ වගේම අනිත් අයගෙන් ආදරය ලබන්න. ලෝකයට බිහි වෙන ඕනෑම දරුවෙක් තමුන්ගේ කුඩා කාළය ගත කරන්නේ ආදරය පිරී ඉතිරී ගිය ලෝකයක. ඒ නිසා අම්මා කියන වචනය තරම් ම ආදරය කියන වචනයත් පුංචි කාලෙදි අපේ ජීවිත වලට සමීප වෙනවා.


ඒත් ටිකෙන් ටික උස් මහත් වෙලා, දැනුම තේරුම ඇති කෙනෙක් බවට පත් වෙනකොට, අර පුංචි දරුවා යෞවනයෙකු බවට පත් වෙනකොට ආදරය කියන වචනය අපේ ජීවිත වලින් ටිකෙන් ටික ඈතට යනවා. ඒ කාලෙදි ආදරය අපේ ජීවිත වල තහනම් වචනය බවට පත් වෙනවා. පුංචි කාලේ ඉඳලා ආදරේ කරන්න, ආදරේ ලබන්න පුරුදු පුහුණු වුණු අපව හදිසියේම ආදරයෙන් වෙන් කරනවා. ආදරය කිරීම මිනීමැරුමක් කිරීම වගේ දරුණු අපරාධයක් හැටියට සැලකෙනවා. ඒ නිසා ආදරය කරලා අහුවුණොත් දැඩි දඬුවම් විඳින්නත් සිදු වෙනවා. පුංචි කාලේ ජීවිතයට මේ තරම් සමීප කරවපු ආදරය එකපාරටම ජීවිතයෙන් වෙන් කරන්නේ ඇයි ? පුංචි කාලෙදි ආදරය කරන්න ඔට්ටු වුණත් තරුණ වයසෙදි ආදරය කිරීම තහනම්ද ?

තරුණ ජීවිත ආදරය එක්ක එකතු වෙලා නොමග යන්න පුළුවන්. යෞවන ආදරයට මග හරස් කරන බොහෝ දෙනා ගේ හේතු දැක්වීම ඒකයි. ඒත් ආදරය නිසා යෞවන ජීවිත විනාශ වෙනවා නම් , තරුණයෝ නොමග යනවා නම් ඒ ආදරයේ වරදක් විතරක් නිසා සිදුවෙන දෙයක්ද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවන දෙයක්ද?


පුංචි කාලෙදි හරියට ආදරේ ලැබුණා නම් , ඇත්ත ආදරය මොන වගේද කියලා හඳුනා ගැනීමේ ශක්තිය තරුණයින්ට ලැබෙනවා. තරුණ කාලේ ආදරය නිසා නොමග යන්නේ, ජීවිත විනාශ කර ගන්නේ , පුංචි කාලෙදි හරි ආදරයක් නොවිඳපු අයයි. කුඩා කාලෙදි ආදරය නොවිඳපු නිසා තරුණ වයසේදී ආදරයේ බොරුවලවල් වල මේ වගේ අය වැටෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි. ආදරය විතරක් නෙවෙයි , ජීවිතේ හුඟක් දේවල් වරද්දා ගන්නේ පුංචි කාලෙදි ලැබෙන්න ඕනෙ කරන ආදරය නියම විදිහට නොලැබුණු අය බව ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. තරුණ වයසේදී ඇත්ත ආදරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පුංචි කාලෙදි ඇත්ත ආදරය විඳපු අයට විතරයි.

පුංචි කාලෙදි ආදරය ලැබෙන්නේ අපේ ගෙදරින්. ඒ කියන්නේ ආදරයේ මුල් පාඩම් උගන්වන පාසැල වෙන්නේ අපේ ගෙදර කියන එකයි. ඒ නිසා ආදරයේ ... නියම ආදරයේ පාඩම ගෙදරින් උගන්වන්න පටන් ගන්න. එතකොට ජීවිතේ කිසිම දවසක ආදරේ බොරු වලවල් වල නොවැටී ඉන්න පුළුවන්. ඒ විතරක්ද , නීති රීති වලින් ආදරයට තහංචි දාන්න බෑ, ආදරය පාලනය කරන්න පුළුවන් වෙන්නේ තවත් ආදරයකට විතරයි. ඒ නිසා නොමග ගිය ආදරයක්, නොමග ගිය ජීවිතයක් වුණත් ආයෙත් යහ මගට ගන්න ගෙදරින් ලැබෙන ආදරයට පුළුවන් බව මතක තබාගන්න.




ප.ලි මේක උපුටා ගත්තු එකක් බුකියේ මෙන්න මෙතනින් මමත් මුහුණ දීලා ඉන්න නිසා දාන්නම හිතුනා

Saturday, May 19, 2012

ඔබා මාමේ !!!

කෙසේ කියන්නද
මා වැනි පුංචි එකෙක්
ඔබ වැනි යෝදයෙකු ගැන
ආඩම්බර නැති
ලොකුම ලොකු හදවතක් තියන
හැමෝම ආදරේ කරන 
ඔබා මාමේ 
හදවත පතුලේ
කඳුළු බිඳක් සිරකරගනිමින්
පතන්නෙමි ඔබට නිවන් සුව !!


ප.ලි. මම දවස් ගානකට කලින් දැනගත්තත් කෙටියෙන්වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ අධ්‍යාපන කටයුතු එක්ක. ඔබා මාමා මට ගොඩාක් උදව් කලේ බ්ලොග් කරුවෙක් හැටියට ගොඩක් හිත තැලිලා තිබුනු වෙලාවක.හඬමින් හිටපු වෙලාවක බුකියෙන් කතා කරලා. එදා ඒ වැඩිහිටියෙක් විදියට දීපු අවවාද නොවෙන්න මේ බ්ලොගියත් චූටි පුතා කියන කවුරුවත් නොදන්න කෙනෙක් බිහිවෙන්නේ නෑ.එහෙනම් මම මේ බ්ලොග් ලෝකයට මේ වෙනකොට සමු දීලා.කමෙන්ටුවක් දාන්න මේ පැත්තේ එන්නම් කිය කියා හිටියත් කවදාවත් ඔයා එන්නේ නෑ නේද සීයේ ?? මම තරහයි වගේම ආදරෙයි ගොඩාක්

Monday, May 7, 2012

ඇය මගේ සොඳුරියයි - බල්ලෙකුගේ සංවේදී හැඬුමක්

කුඩා කල පටන් ඇය
මා සමග සිටියා
සෙල්ලමට කෑමකට
මා සමග ආවා


පියතුමෙකුගේ සතුට
ඈ මට දුන්නා
අවසාන මොහොත තෙක්
මා සමග හිටියා


වෙසක් දින රාත්‍රියේ
වෙසක් සිරි බලමින්
අපි දෙන්නා පැමිනියේ
මහ පාරේ අයිනෙන්


 මහහඬින් ගී සිංදු
කියන අය පුරවන්
ආ ලොරියෙ ගැටුනු ඈ
කෑ ගැසුවෙ මරහඬින්


කානුවට වීසි වී
ඉතා දුක්මුසු ලෙසින්
එකවරක් දෑස් හැර
පියාගත්තා සැනින්


රිය පිටුපසින් එලවා
එනවිටත් මියගොසින්
පින්බර වෙසක් දින
නැත මගේ වෛරයක්


තවත් එක් බැල්ලක්ය
ඔබට හා අන් අයට
ඈ මගේ සොඳුරියයි
තිබෙන තෙක් මගෙ දිවිය


ප.ලි. ඊයේ රෑ අපි පන්සල් ගිහින් එනකොට අපිට ඉස්සරහින් ළඟ ගෙදරක බල්ලෝ දෙන්නෙක් පාර අයිනෙන් ගියා. හරිම ආදරෙන් හිටපු බව තමයි පෙනුනේ ( මම උන්ව දන්නවා . උන්ට පැටවුනුත් හිටියා ) පාරේ ගියපු ලොරියක රියදුරා පාරේ අගලටම අරගෙන එක බල්ලෙක්ව හැප්පුවා. ( හිතලා කලේ). අනිත් බල්ලා ( ඌ තමා බල්ලා) අර ලොරිය පස්සෙන් ගොඩාක් දුර එලෙව්වා.එනකොටත් මැරිලා වගේ හිටියේ අනිකා. පස්සෙන් එලවපු එකා ආපහු ඇවිත් සෑහෙන වෙලාවක් උඩු බුර බුර එතන හිටියා . ඒක ගැනයි ලීවේ







Friday, May 4, 2012

පොඩි හාමුදුරුවනේ



බුදු හිමි දෙසු දම්
සිත් තුල රඳවා 
නිවන සොයා යන
පුංචි පුතේ


ලොව ඇති ගැඹුරුම 
සදහම් මගතුල 
පියවර තබනා 
පුංචි පුතේ


මුළු ලොව අඳුරෙන් 
මුදවා ගන්නට 
පෙරුමන් පුරනා 
පුංචි පුතේ

නිමල වූ නිවනින් 
දුක නිවනා හැටි 
වටහා දෙනු මැන 
පුංචි පුතේ 


අප දුර ඈතය 
ඔබ එය අසලය
සාදු සාදු 
පොඩි හාමුදුරුවනේ ....... !!!!




ප.ලි- ඉහල පින්තූරය ගූගල් පින්තූර මගිනි. පහළ පින්තූරය හොයලා දුන්නේ හිරූ අක්කී 
ප.ප.ලි- පින්බර වෙසක් මංගලයයක් වේවා !!